වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙස ද හඳුන්වනු ලබනවා.
වසරේ මාස දොළොස හේමන්ත – ගිම්හාන – වස්සාන යනුවෙන් ඍතු තුනකට බෙදනු අතර එයින් වස්සාන ඍතුවේ වැසි සාර මාසයෙන් මුල් තුන් මස භික්ෂූන් වහන්සේලා වස් වසා වැඩ සිටින කාලයයි.
එසේ වස් විසූ පැවිදි උතුමන් වහන්සේලා වස් පවාරණය කරනු ලබන්නේ වප් පුන් පොහෝ දිනකයි.
භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ ආකාරයට, එක්ව වස් වැසූ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ පවාරණය සිදුකරනු ලබන්නේ මෙලෙස පවසමින්.
‘සංඝං භන්තේ පවාරේමි. දිට්ඨේන වා සුතේන වා පරිසංකාය වා. වදන්තු මං ආයස්මන්තෝ, පස්සන්තෝ පටිකරිස්සාමි. ‘ස්වාමීනී, සංඝයා වහන්සේට පවරමි. වස් වසා වැඩසිටි කාලය තුළ මාගේ වරදක් දැක්කා නම්, අසන්නට ලැබුනා නම්, සැකයක් ඉපදුනා නම් එය මට පවසන්න. මා අතින් එම වරද සිදු වූ බව දන්නේ නම් එය නිවැරදි කරගනිමි.“ යනු එහි තේරුමයි.
සම්බුදු සසුනක පමණක් දක්නට ලැබෙන එම උත්තම ආයති සංවරය තුළ පිහිටමින් මහා පවාරණය සිදුකරනා භික්ෂූන් උදෙසා ඊළඟ චීවර මාසය තුළ සැදැහැවත් උපාසක උපාසිකාවන් කඨින චීවර පූජා කර උතුම් පුණ්‍ය ධර්මයන් රැස්කර ගනියි.
පැවිදි උතුම්න් වහන්සේලා සිය ශාසනික ජීවිතය පිළිවෙතින් සරුකර ගන්නා වූ ද ගිහි පින්වතුන් බොහෝ පින් රැස්කර ගන්නා වූ ද පින්බර වස්සාන සමය නිමාවට පත්ව මහා පවාරණයන් සිදුකරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දී ය.
සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම, කල්ප ලක්‍ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මෛත්‍රී බෝසතාණන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම, අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්‍ෂුණී සංඝයාත්, ජය ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවත් ලක්දිවට වැඩමවා ගැනීමට අනුබුදු මිහිඳු හිමියන්ගේ නියමයෙන් දෙවනපෑතිස් රජුගේ සංදේශයත් තුටු පඬුරුත් රැගෙන අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව සැලලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවීමට පිටත්කොට යවන ලද්දේ ද වප් පෝ දායි.
මහාරිෂ්ඨ මහ රහතන් වහන්සේ විසින් ලංකා ශාසන ඉතිහාසයේ අමරණීය සිද්ධියක් වන විනය පිටකය සංඝායනා කිරීම වැනි ඉතා වැදගත් සිදුවීම් රැසක් වප් පුර පසළොස්වක පෝය දින දී සිදු වී තිබෙනවා.